LET US BUILD THE YOUTH MOVEMENT FOR BETTER SOCIETY
Friday, May 10, 2013
ජෙලි ෆිෂ් ගහනය ඉහළ යන්නේ
අධික ලෙස මසුන් අල්ලන නිසා ද?
ජෙලිෆිෂ් හෙවත් ලො`ඩියන් ලෙස හඳුන්වන අපෘෂ්ඨවංශී ක්‌නිඩේරියා වංශයට අයත් ජීවීන් ගේ ගහන ඉහළ යැම ලෝකයේ විවිධ මුහුදු ප්‍රදේශවලින් වාර්තා වී ඇති සිදුවීමකි. මේ සඳහා බලපා ඇති හේතු මොනවා ද යන්න මේ තාක් නිශ්චිත ව පැහැදිලි කර නොමැත. කෙසේ වෙතත්, පසුගිය දා වාර්තා වූ අධ්‍යයනයකට අනුව ලො`ඩියන් ගේ ඉහළ යැම සඳහා ප්‍රධාන හේතුව අධික ලෙස මසුන් ඇල්ලීම විය හැකි ය.
මෙහි දී දක්‌වා ඇති ආකාරයට ලො`ඩියන් ගොදුරු කරගන්නා ගන්නා විලෝපිකයන් අතර ටූනා හා කැස්‌බෑවුන් වැදගත් වේ. එසේ ම ලො`ඩියන් ගේ බිජු හා නො වැඩුණු අවස්‌ථා ආහාරයට ගන්නා කුඩා මසුන් ද අධික ලෙස ඇල්ලීම සිදු වනු දැකිය හැකි ය. මෙවැනි තත්ත්වයක් තුළ, ලො`ඩියන්ට ඉතා යෝග්‍ය තත්ත්වයක් ඇති වන නිසා ඔවුන් ගේ ගහනය වේගයෙන් ඉහළ යා හැකි ය.
මේ තත්ත්වය අප්‍රිකාවේ සාගර පරිසර පද්ධති දෙකක් ආශ්‍රයෙන් තහවුරු කරගෙන තිබේ. අධික ලෙස මසුන් මැරීම සිදු වන පළමු පරිසර පද්ධතියේ ලො`ඩියන් ගේ ගහනය ඉහළ ගොස් තිබේ. අනෙක් පරිසර පද්ධතියේ මසුන් මැරීම පාලනය කර ඇති අතර ලො`ඩියන් ගේ ගහනය ද අඩු මට්‌ටමක පවතී. (මූලාශ්‍රයBulletin of Marine
Science, DOI: 10.5343/bms.2011.1145
උභයජීවීහු කෘමිනාශකවලට ප්‍රතිරෝධී වෙති
කෘෂිකාර්මික ප්‍රදේශවලට ආසන්න ව ජීවත් වන උභයජීවී ගහන සුලබව භාවිත වන කෘමිනාශකවලට ඔරොත්තු දීම අතින් ඉහළ මට්‌ටමක සිටින බව අධ්‍යයන දෙකකින් හෙළි වේ. උභයජීවීන්ට පරිසරයේ දැකිය හැකි රසායකික ද්‍රව්‍ය නිසා ඇති විය හැකි බලපෑම් කලක පටන් අධ්‍යයනයට ලක් ව ඇති කරුණකි.
ඉන් එක් අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ ගොවි බිම් ආසන්නයේ ජීවත් වන එක් මැඩි විශේෂයක ඉස්‌ගෙඩියන්, ක්‌ලොර්පයිරිපොස් නම් කෘෂි රසායනික ද්‍රව්‍යයට වඩා ඔරොත්තු දෙන බව ය. මෙය විවිධ වෙළෙඳ නාම යටතේ ලෝකයේ බෙහෙවින් සුලබ ලෙසින් භාවිත කරනු ලබන පළිබෝධනාශකයකි. (මූලාශ්‍රයEvolutionaryApplications, DOI: 10.1111/eva.12069)
පළිබෝධනාශක වර්ග තුනක් යොදාගනිමින් සිදු කර ඇති අනෙක් අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත්තේ කිසියම් එක් පළිබෝධනාශකයකට ප්‍රතිරෝධීතාවක් දක්‌වන ඉස්‌ගෙඩියන්, ඒ හා සමාන රසායනික ක්‍රියාකාරිත්වයක් ඇති වෙනත් වෙනත් රසායනික ද්‍රව්‍යවලට ද වැඩි ප්‍රතිරෝධීතාවක් දක්‌වන බව ය. මෙහි දී ක්‌ලෝර්පයිරිපොස්, කාබරිල් හා මැලතියන් පිළිබඳව අධ්‍යයනය කර තිබේ. (මූලාශ්‍රයEnvironmental Toxicology and Chemistry,DOI: 10.1002/etc.2121)
දිගු කලක් තිස්‌සේ පරිසරයේ ඇති රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වන උභයජීවීන් ගේ පරිණාමීය වශයෙන් ද යම් යම් වර්ධනයක් දැකිය හැකි බව පෙනේ. මේ රසායනික ද්‍රව්‍ය මිනිසුන් විසින් නිෂ්පාදනය කරනු ලබන රසායනික ද්‍රව්‍ය වීම මෙහි ඇති විශේෂත්වයයි.
මී මැස්‌සන්ට අහිතකර
රසායන ද්‍රව්‍ය පාලනය ගැන මතභේද
මී මැස්‌සන්ට විෂ සහිත වන රසායනික ද්‍රව්‍ය කිහිපයක් පාලනය කිරීම සඳහා යුරෝපා කොමිසම විසින් ගෙන එන ලද යෝජනාවක් සම්බන්ධව යුරෝපයේ රටවල් අතර බෙදීමක් ඇති වී තිබේ. නියෝනිකොටිනොයිඩ කාණ්‌ඩයට අයත් මේ පළිබෝධනාශක භාවිතය පාලනය කිරීම සඳහා යුරෝපා සංගමය යෝජනා ගෙන එන්නේ පසුගිය ජනවාරි මාසයේ පටන් ය. එහෙත් මෙවර ද සම්පූර්ණ තහනමකට ප්‍රමාණවත් තරම් බහුතර රටවල් ගණනක සහයෝගයක් යුරෝපා රටවලින් නො ලැබිණි.
මේ නිසා ඉදිරි වසර දෙකක කාලයක් සඳහා මේ රසායන ද්‍රව්‍ය භාවිතයේ යම් සීමා කිරීමක් පමණක් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්‌ෂිත ය. ඒ අනුව මී මැස්‌සන් හා වෙනත් පරාගණකාරකයන් ගේ ආකර්ෂණයට ලක් නො වන භෝග සඳහා උක්‌ත රසායන ද්‍රව්‍ය භාවිත කිරීමට හැකි වනු ඇත.
උක්‌ත යෝජනාව සඳහා මින් පෙර වතාවට වඩා වැඩි සහයෝගයක් මේ වතාවේ ලැබී තිබුණ ද, ඇතැම් රටවල් පූර්ණ තහනමකට එකඟ වී නොමැත. ඇතැම් විද්‍යාඥයන් හා අදාළ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගම් පවසන ආකාරයට මේ කරුණ සඳහා තවමත් ප්‍රමාණවත් සාධක නොමැත. ඔවුන් පවසන්නේ මී මැස්‌සන් ගේ ගහන අඩු වීම සඳහා බලපාන වෙනත් සාධක ද තිබිය හැකි බව ය. පරපෝෂිතයන් හා රෝග මෙවැනි සාධක අතර වේ. කෙසේ වෙතත් යුරෝපයේ ම ඇතැම් රටවල් අදාළ රසායනික ද්‍රව්‍ය සඳහා මේ වන විටත් යම් යම් සීමා ඇති කර තිබේ.
පසුගිය දා ඇමෙරිකානු රාජ්‍ය ආයතන දෙකක් විසින් නිකුත් කර ඇති වාර්තාවක් පෙන්වා දෙන ආකාරයට එරට මී මැසි ගහනවල ද කැපී පෙනෙන අඩු වීමක් දැකගත හැකි ය. එය ද බහුවිධ හේතු නිසා බව අදාළ වාර්තාව පෙන්වා දී තිබේ.
ධනේෂ් විසුම්පෙරුම
Source: http://www.vidusara.com/2013/05/08/feature3.html
Subscribe to:
Posts (Atom)