<<<<<<<<<<<<<<<<<<<<<<<<<LET US BUILD THE YOUTH MOVEMENT FOR BETTER SOCIETY>>>>>>>>>>>>>>>>>>>>>>>>>

Monday, July 8, 2013

Power of Sun

හරිත තීරය
සූර්ය බලයෙන් ආහාර පිසීම හා වියෑළීම

සූර්ය බලය යනු ප්‍රබල බලශක්‌ති ප්‍රභවයකි. අප අද භාවිත කරන බොහෝ බලශක්‌ති ප්‍රභවවල මූලාරම්භය වන්නේ සූර්ය බලයයි. නිදසුනක්‌ ලෙස ගත හොත්, ෆොසිල ඉන්ධනවල ප්‍රභවය මෙන්ම සුළං බලය සඳහා ද සූර්යයා වැදගත් සාධකයකි. එසේ ම ආලෝකය ලබා දීමට ද සූර්යයා ගෙන් අපට ලැබෙන ශක්‌තිය වැදගත් ය. මෙවැනි කාර්ය රාශියක්‌ සඳහා අපි අනාදිමත් කාලයක සිට සූර්ය බලය භාවිත කරමු.

අප අද අපේක්‌ෂා කරන්නේ ආහාර පිසීම හා සැකසීම වැනි කාර්යයන් සඳහා සූර්ය බලය යොදාගැනීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කිරීමට ය. වසර පුරා සූර්යාලෝකය හොඳින් ලැබෙන රටක්‌ වුව ද ශ්‍රී ලංකාවේ මෙය සාපේක්‌ෂව අඩු අවධානයකට ලක්‌ වූ අංශයකි. (මීට සාපේක්‌ෂව සූර්ය බලයෙන් විදුලිය නිපදවීම සඳහා වැඩි අවධානයක්‌ යොමු වී ඇති අතර ජල සම්පාදනය සඳහා සූර්ය බලය භාවිතය ද ක්‍රමයෙන් ප්‍රචලිත වෙමින් තිබේ.)

මෙහි දී අපේ අවධානයට ලක්‌ විය යුතු සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන උපකරණ දෙකක්‌ තිබේ. ඒ සූර්ය බල උදුන හා සූර්ය බල වියළනයයි.

සූර්ය බලයෙන් ක්‍රියා කරන මේ උපකරණ භාවිතයේ ඇති වැදගත් ප්‍රයෝජන අතරින් ඉන්ධන සඳහා වියදමක්‌ නොමැති බලශක්‌තියක්‌ වීම, පුනර්ජනනය කළ හැකි බලශක්‌තියක්‌ වීම හා හරිතාගාර වායු නිපදවීම සීමා කළ හැකි වීම සඳහන් කළ යුතු ය. එමෙන් ම මෙයින් පරිසර දූෂණයක්‌ සිදු නො වන නිසා පාරිසරික හා සෞඛ්‍යමය වශයෙන් ද මේවා ප්‍රයෝජනවත් ය. මේ නිසා තිරසරභාවයේ දී හා ආහාර සුරක්‌ෂිතතාව අත්පත් කර ගැනීමේ දී මේ සූර්ය බල උපකරණ වැදගත් බව පැහැදිලි ය.

කෙසේ වෙතත් මේ වන විට භාවිතයේ ඇති බොහෝ සූර්ය බල උදුන් හා වියළන අඩු වියදමක්‌ දැරිය යුතු හා අඩු තාක්‌ෂණයක්‌ අවශ්‍ය කරන උපකරණ වීම ද විශේෂත්වයකි. මේවා වෙළෙඳපොළේ දැකිය හැක්‌කේ අඩු වශයෙන් වුව ද පහසු තාක්‌ෂණය නිසා ඕනෑ ම අයකුට නිපදවා ගැනීමට හැකි ය. ඒ නිසා මේ තාක්‌ෂණය ලෝකයේ ජීවත් වන දරිද්‍රතාවෙන් පීඩා විඳින පිරිස්‌ අතර කලක පටන් ප්‍රචලිත කිරීමට විවිධ ආයතන කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් වලාකුළු හා වැසි සහිත කාලගුණ තත්ත්වයක්‌ පවත්නා විට භාවිත කළ නොහැකි වීම හා දිවා කාලයේ දී පමණක්‌ භාවිත කළ හැකි වීම මේ උපකරණවල ඇති ප්‍රායෝගික සීමා ලෙස දැක්‌විය හැකි ය. එහෙත් පෙර සඳහන් ප්‍රයෝජන පිළිබඳව සැලකූ විට හැකි අවස්‌ථාවල භාවිත කළ හැකි විකල්ප බලශක්‌තියක්‌ ලෙස සූර්ය බල උදුන හා වියළනය යෝග්‍ය වේ.

සූර්ය බල උදුන
(Solar cooker/ Solar oven)

සූර්ය බල උදුනකින් සිදු වන්නේ සෘජු සූර්යාලෝකයේ ඇති ශක්‌තිය භාවිතයට ගෙන ආහාර පිසීම හෝ ජලය උණු කිරීමයි. මෙහි දී සිදු වන්නේ උදුනට සම්බන්ධ කර ඇති පරාවර්තක (දර්පණ හෝ වෙනත් දිළිසෙනසුලු පෘෂ්ඨ) භාවිත කරමින් සූර්යාලෝකය කුඩා ප්‍රදේශයකට කේන්ද්‍රගත කර, එතැන තබනු ලබන බඳුන්වල ඇති ආහාර පිසගැනීමයි. මෙහි දී අදාළ බඳුන් කළු පැහැයෙන් යුක්‌ත වීමෙන් තාප අවශෝෂණයට වැදගත් වේ. එසේ ම ඇතැම් සූර්ය බල උදුන්වල තාපය උදුනෙන් පිටතට පිවිසීම වැළැක්‌වීමට ද පියවර ගෙන ඇත.

විවිධ වර්ගවල සූර්ය බල උදුන් ලෝකයේ භාවිත වේ. මේවා අතරින් සූර්ය බල පෙට්‌ටි උදුන (Solar box cooker - ඡායාරූපය 1) හා පරාවලයික උදුන (Parabolic oven - ඡායාරූපය 2) වැනි උපකරණ වඩා ජනප්‍රිය බව පෙනේ. මේ අතරින් පරාවලයික වර්ගයේ උදුන් වැඩි තාපයක්‌ ලබාගනිමින් අඩු කාලයක දී ආහාර පිසිය හැකි උදුනකි.

සූර්ය බල උදුන් භාවිත කළ යුතු වන්නේ නිවසට පිටත වීම හා ඒවා ප්‍රමාණයෙන් තරමක්‌ විශාල වීම නිසා භාවිතය තරමක්‌ අපහසු වීම මෙහි ඇති මූලික අඩුපාඩු වේ. ඒ නිසා ඉඩකඩ සහිත ග්‍රාමීය ප්‍රදේශවල මේ උදුන් භාවිතය වඩා ප්‍රායෝගික වුවත්, මහල් සහිත නාගරික නිවාසවල ඉහළ මාලයක වුව ද මේවා භාවිත කළ හැකි ය.

සූර්ය බල වියළනය (Solar dryer)

සූර්ය බලය යොදාගනිමින් ආහාර වියෑළීම අතීතයේ පටන් අප සිදු කර ඇති කටයුත්තකි. අටු කොස්‌, කරවල, වියළි කරවිල පෙති යනාදී ආහාර වර්ග නිෂ්පාදනයේ දී සෘජු සූර්ය තාපයට නිරාවරණය කිරීමෙන් මේ ආහාර විජලනය කිරීම සිදු කරනු ලැබේ.

කෙසේ වෙතත් මේ කාර්යය වඩා වේගයෙන්, පහසුවෙන් හා වඩා සෞඛ්‍යාරක්‌ෂිත ලෙසින් සිදු කළ හැකි සූර්යබල වියළන මේ වන විට භාවිතයේ තිබේ. (ඡායාරූපය 3 බලන්න). මෙහි දී අදාළ වියලන උපකරණයේ වීදුරු හෝ පාරභාෂක ආවරණය හරහා පැමිණෙන සූර්යාලෝකය මඟින් ආහාර ද්‍රව්‍ය තබනු ලබන කුටීරය උණුසුම් වන අතර, ඒ හරහා ගමන් කරන වායු ප්‍රවාහය පාලනය කිරීමෙන් විජලනය සාර්ථකව සිදු කළ හැකි ය.

ගෘහ මට්‌ටමේ දී මෙන්ම වාණිජ මට්‌ටමේ දී ද ඇතැම් ආහාර වර්ග විජලනය කිරීම සඳහා මේ සූර්යබල වියළන භාවිත කරන ආකාරය දැකිය හැකි ය. සූර්ය බලයෙන් මෙන්ම සූර්ය බලය නොමැති අවස්‌ථාවල දී ද භාවිත කළ හැකි සූර්ය බල වියළනයක්‌ ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්‌ථානය (NERDc) මඟින් ද නිපදවා තිබේ. සූර්ය බලශක්‌තිය භාවිත කිරීම අදාළ නිෂ්පාදනයේ පිරිවැය අඩු කිරීමට හා පාරිභෝගිකයාට සහනයක්‌ ලබා දීමට ද උපකාරි වේ.

ධනේෂ් විසුම්පෙරුම
ඔබේ අදහස්‌dhaneshw@ymail.com

No comments:

Post a Comment