<<<<<<<<<<<<<<<<<<<<<<<<<LET US BUILD THE YOUTH MOVEMENT FOR BETTER SOCIETY>>>>>>>>>>>>>>>>>>>>>>>>>

Wednesday, June 11, 2014

Don't Kill Shark





මෝරුන් දඩයම තහනම් කිරීමේ අවාසි

සාගර පරිසර පද්ධතිය තුළ වෙසෙන ප්‍රබලතම විලෝපික මත්ස්‍ය විශේෂයක්‌ වන මෝර (Shark) මත්ස්‍ය විශේෂ්‍ය පිළිබඳ ව ඉන්දියන් සාගරයේ ටූනා කොමිෂන් සභාව (Indian Ocean Tuna Comission) හෙවත් IOTC වැඩි අවධානයක්‌ යොමු කර ඇත. මෙලෙස IOTC වැඩි අවධානයක්‌ මෝර මසුන් වෙත යොමු වී ඇත්තේ ඉන්දියන් සාගර කලාපය ආශ්‍රිත ව ජීවත් වන මෝර මත්ස්‍ය විශේෂ ශීඝ්‍ර අන්දමින් වඳ වීමකට ලක්‌ වෙමින් පවතින බැවිනි.

මෝරා යනු සාගර ජෛව පද්ධතියට ඉතා වටිනාකමක්‌ උරුම කර දෙමින් සාගර පරිසර පද්ධතිවල තුල්‍යතාව නියත ව පවත්වාගැනීමට උපකාරී වන ජීවී විශේෂයකි. සාගර පරිසර පද්ධති තුළ ආහාර දාම සහ ආහාර ජාලවල ඉහළ පුරුක්‌ නියෝජනය කරන මෝරා විලෝපීයයකු වශයෙන් මෙන්ම පහළ පෝෂී මට්‌ටම්වල ආරක්‌ෂකයකු ලෙස ද කටයුතු කරයි. එනම් පද්ධති තුළට පැමිණෙන බාහිර ආක්‍රමණික ජීවීන් මෙන්ම විවිධ විෂ ද්‍රව්‍ය විනාශ කරමින් සාගර පරිසර පද්ධතියට ප්‍රශස්‌ථ පරිසරික වටපිටාවක්‌ උදා කර දීමට මෝරා සමත් වෙයි. එබැවින් මෝර මසුන් සංරක්‌ෂණය සහ තිරසාර ලෙස පරිභෝජනයට ගැනීම සඳහා වගබලාගැනීම මිනිසා ගේ වගකීමක්‌ වි ඇත.

ඉන්දියානු සාගර කලාපය ආශ්‍රිත ව ප්‍රධාන මෝර විශේෂ හතරක්‌ ජීවත් වෙයි. කස මෝරා, සිල්කි මෝරා, පොල්කොළ මෝරා සහ උදලු මෝරා එම විශේෂ හතර වෙයි. මෑතක දී IOTC ම`ගින් කර ඇති සමීක්‌ෂණයට අනුව කස මෝර විශේෂය ධීවර කර්මාන්තය හේතුවෙන් ශීඝ්‍ර ලෙස වඳ වී යන බව අනාවරණය වී ඇත. මෙහි දී මෝර විශේෂ සඳහා ම ඉලක්‌ක වූ ධීවර කර්මාන්තයන් (සෘජු ලෙස) මෙන්ම වෙනත් මතස්‍ය විශේෂ සඳහා ඉලක්‌ක වූ ධීවර කර්මාන්ත (වක්‍ර ලෙස) ම`ගින් කස මෝරා දැඩි තර්ජනයකට ලක්‌ වී ඇති බව පෙනී ගොස්‌ ඇත. එබැවින් මේ වන විට කස මෝරා දඩයම් කිරීම සම්පූර්ණයෙන් ම පාහේ තහනම් කිරීමට පියවර ගෙන ඇත. ධීවර කර්මාන්තයේ දී යොදාගනු ලබන Long line කසබැ සහ මා දැල් වැනි ධීවර ආම්පන්න ම`ගින් මෙලෙස කස මෝරා විපතට පත් වෙයි. මේ තත්ත්වය මැ`ඩපැවැත්වීමට IOTC ම`ගින් වරණීය "ධීවර ආම්පන්න" (Selective fishing gear) ක්‍රමයක්‌ හඳුන්වා දී තිබුණ ද ආර්ථික ගැටලු හමුවේ එවැනි ආම්පන්න භාවිත කිරීමට බොහෝ ධීවරයන් හට තවමත් හැකියාවක්‌ ලැබී නැත. මේ හේතුව මත ඔවුන් විසින් තවදුරටත් භාවිත කරනු ලබන්නේ සාම්ප්‍රදායික ධීවර ආම්පන්න වෙයි. එබැවින් සෘජු හෝ වක්‍ර ලෙස කස මෝරා හසු වීම පාලනය කිරීම දුෂ්කර කටයුත්තක්‌ බවට පත් වී ඇත. අද වන විට සිල්කි මෝර විශේෂය ද ධීවර කර්මාන්තය හේතුවෙන් දැඩි අවදානමකට ලක්‌ වී ඇති මෝර විශේෂයක්‌ ලෙස වාර්තා වී ඇත. ඉදිරියේ දී මේ සිල්කි මෝරුන් ද දඩයම් කිරීම ධීවරයින්ට තහනම් කිරීමට යෝජනාවක්‌ IOTC ම`ගින් ඉදිරිපත් කිරීමට කටයුතු සැලෙසෙමින් පවතියි.

සෙසු සාගර ජීවීන් මෙන් නො ව මෝර මසුන් ධීවර කර්මාන්තය නිසා අවදානමකට ලක්‌ වී ඇත්තේ ජෛව විද්‍යාත්මක කරුණු කිහිපයක්‌ පදනම් කරගනිමින් ය. සෙසු සාගර මසුන්ට සාපෙක්‌ෂ ව මොවුන් ගේ ප්‍රජනක විභවය (Reproductive potential) අඩු අගයක පවතියි. තව ද වර්ධන වේගය අතින් මෝරුන් සිටින්නේ සෙසු මත්ස්‍ය විශේෂවලට වඩා පිටුපසිනි. මොවුන් ගේ ලිංගික පරිණතිය සඳහා විශාල කාලයක්‌ ගත වන අතර වරකට බිහි කරන පැටවුන් සංඛ්‍යාව ද සාපේක්‌ෂව අඩු අගයක්‌ ගනී. මේ කරුණු නිසා මෝර මසුන් ගේ ජනගහන වර්ධන වේගය සාපේක්‌ෂ ව අඩු වෙයි. එබැවින් කුඩා බලපෑමකින් වුව ද ඔවුන් ගේ පැවැත්මට සිදු විය හැකි විපත බලවත් එකක්‌ බවට පත් වෙයි.

ඒ එසේ වුවද මෝරා ආර්ථික වශයෙන් ඉහළ වටිනාකමක්‌ ඇති මත්ස්‍යයෙක්‌ වෙයි. තවත් අතකින් ඖෂධීය ගුණ ගෙන දෙයි. ශ්‍රී ලංකාව මෙන්ම සෙසු රටවල් ද මෝර මසුන් අපනයනය තුළින් ඉහළ ආර්ථික ලාභයක්‌ ලබයි. එබැවින් මෝරා යනු ධීවර කර්මාන්තයට අතහැර දැමිය නොහැකි සම්පතකි. එහෙත් අද තත්ත්වය අනුව ධීවරයා තරමක අපහසුතාවකට මෙන්ම අභියෝගයකට ද ලක්‌ වී ඇත. සාම්ප්‍රදායික ධිවර ක්‍රම භාවිත කරන ධීවරයින් හට මෙවැනි දැඩි තහංචි පැනවීම දරාගත නොහැක්‌කකි. ඇත්තෙන් ම මෝර මසුන් සම්පතට ඉහළ වටිනාකමක්‌ ඇති ලෙස ම ධීවරයන් ගේ ජීවිතවල ද අමිල වටිනාකමක්‌ පවතියි. දිනෙක සාගරයේ සිටින කිසිදු මෝරකු දඩයම් නො කරන ලෙසට නීති පැනවීමට සිදු වුව හොත් ධීවර කර්මාන්තයට ද ධීවරයින් ගේ ජීවිතවලට ද දැඩි තර්ජනයක්‌ එල්ල වනු නොඅනුමාන ය.

එබැවින් මෝරුන් ගේ ජීවිතවලට මෙන්ම ධීවරයන් ගේ ජීවිතවලට ද තිරසාර සංරක්‌ෂණයක්‌ අවශ්‍ය වී ඇත.

ප්‍රණීත් ධනුෂ්ක 


Source : http://www.vidusara.com/2014/06/04/feature5.html
 

No comments:

Post a Comment